බුදු සමය වශයෙන් සාමාන්‍යයෙන් අදහස්‌ කරනු ලබන්නේ 18 වැනි සියවසේ අග භාගයෙන් පසු කාලයට අයත් බුදු දහමයි. විශේෂයෙන්ම 19 වැනි සියවසේ සිද්ධ වූ දේශපාලනික, ආර්ථික හා තාක්‍ෂණික පෙරළි නිසා බුදු දහම බටහිරට ව්‍යාප්ත වී ගිය ආකාරය අවධාරණය කෙරේ.

බුදුදහමේ එළිය දකින අපි‍්‍රකාව

බුදුදහම ආසියාවේ පහළ වූ දහමකි. බුදුරදුන් වැඩ සිටි සමයේ පටන් එය ලොව බොහෝ රටවල පැතිරෙන්නට විය. උන්වහන්සේගේ පිරිනිවන් පෑමෙන් සියවස් ගණනාවක් ගතවන විට රාජ්‍යානුග්‍රහයෙන් සහ වෙළෙඳ ප්‍රජාවගේ දායකත්වයෙන් පෙරදිග ලෝකයේ පමණක් නොව අපරදිග ලෝකයේ බොහෝ රටවලට බුදුදහමේ ආලෝකය ලැබී තිබුණි.

ආසියාවේ පමණක් නොව මැදපෙරදිග සහ යුරෝපයේ ඇතැම් ප්‍රදේශවල ද බුදුදහම පදනම් කරගත් සංස්කෘතියක් ගොඩනැඟී තිබුණ බවට සාධක පවතියි. එහෙත් අප්‍රිකානු මහාද්වීපයේ ජනතාව බුදුදහම ගැන දැන සිටිය බවට කිසිදු තොරතුරක් නොමැත.
අපි‍්‍රකානු රටවල බොහෝ ජනයා ගෝත්‍රික ඇදහිලි හා ආගමික විශ්වාසයන් අනුගමනය කරන පිරිසකි. ඉස්ලාම් හා ක්‍රිස්තියානි ආගම් පසු කාලයක ඒ රටවල ව්‍යාප්ත වී ඇත. වර්තමානයේ ඇතැම් අපි‍්‍රකානු රටවල ගැටුම් මතු වී තිබෙන්නේ මෙම ප්‍රධාන ආගමික කණ්ඩායම් තුළ පවතින බලලෝභී හා අන්තවාදී ආකල්ප හේතුවෙනි.
ආසියාතික රටවල් යුරෝපීය ආධිපත්‍යයට යටත් වූ පසු ආසියාතික රටවල වැසියන්ට යුරෝපීය පාලනය පැවැති රටවලට යාමට අවස්ථාව ලැබුණි. ඒ අනුව අපි‍්‍රකාවට ගිය ශ්‍රී ලාංකිකයන් ගැන ද අසන්නට ලැබේ.
එහි ගිය පිරිස් අතර බුරුමය, ඉන්දියාව, තායිලන්තය ආදී රටවල බෞද්ධයෝ ද සිටියහ. අපි‍්‍රකා මහාද්වීපයේ බුදු දහමේ ඉතිහාසය ඇරඹෙන්නේ ඔවුන්ගෙනි.
අපි‍්‍රකාවේ බුද්ධාගම පිළිබඳ ඉතිහාසය පැහැදිලිව සටහන් වන්නේ ක්‍රි. ව. 1920 වසරේ සිටය. එවකට ටැන්සානියාවට ගොස් සිටි හාරසීයක් පමණ වූ ලක්වැසි පිරිසක් සිංහල බෞද්ධ සංවිධානය නමින් සමිතියක් පිහිටුවා ඇත.
එය රජයේ ලියාපදිංචි කරවූ ඔවුහු ඉඩමක් මිලයට ගෙන විහාරස්ථානයක් ඇරඹූහ. එය අපි‍්‍රකාවේ පැරැණිම පන්සල යි. ගුණපාල නමැති බෞද්ධ මහත්මයෙක් අනුරාධපුර ශ්‍රී මහා බෝධියෙන් ලබාගත් බීජයක් එහි රෝපණය කිරීමෙන් වැඩුණ බෝ සමිඳු මේ වන විට අක්කරයක පමණ වපසරියක පැතිර පවතියි.
1956 දී පන්සලේ දාගැබ හා බුද්ධ මන්දිරය ඉදිකෙරුණි. තායි, බුරුම, චීන, අපි‍්‍රකා ආදී නොයෙකුත් ජාතීන්ට අයත් බෞද්ධයන්ගෙන් අනුග්‍රහය ටැන්සානියා පන්සලට ලැබුණ නිසා බෞද්ධ සමිතියේ සිංහල නාමය ඉවත් කර ඇත.
ටැන්සානියා පන්සලට මුලින්ම වැඩම කළේ පුහුල්වැල්ලේ විපස්සි හිමියන් ය. එය සිදුවුණේ 1983 වසරේ ය. බර්මින්හෑම් විහාරාධිපති ෂතාරන්දෙනියේ කස්සප හිමි හා තිස්සමහාරාම විහාරාධිපති දේවාලේගම ධම්මසේන නාහිමි ද කලක් ටැන්සානියාවේ වැඩ වෙසෙමින් අපි‍්‍රකාවේ ධර්මදූත සේවයේ යෙදුනහ.

වර්තමානයේ එහි වැඩ සිටින්නේ ඉලුක්පිටියේ පඤ්ඤාසේකර හිමියන් ය. 1998 වසරේ සිට අද දක්වා ම අපි‍්‍රකාව පුරා බුද්ධාගම පැතිරවීමට උන්වහන්සේ දරන්නේ ඉමහත් වෑයමකි. කෙන්යාව, මලාවි, බොට්ස්වානා, රුවන්ඩාව, ස්වාසිලන්තය ආදී අපි‍්‍රකානු රටවල බෞද්ධයන්ගේ ආගමික කටයුතු සඳහා උන්වහන්සේ සහභාගි වෙති.
ඒ අතර ටැන්සානියා පන්සලේ දිළිඳු දරුවන් සඳහා පාසලක් ද පවත්වාගෙන යති. දිළිඳු සහන සේවාවන් රැසක් ද සිදුකරති. බොට්ස්වානාව මධ්‍යම අපි‍්‍රකාවේ තිබෙන රටකි. මහනුවර නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේ ගොඩ්වින් සමරරත්න මහතාගේ මෙහෙයවීමෙන් භාවනා වැඩසටහන් මාලාවක් එරට පැවැත්වුණි.
එහි ප්‍රතිඵලයක් ලෙස බොට්ස්වානාහි පදිංචි ශ්‍රී ලාංකික බෞද්ධයකු වන උතුම් කොරෙයා මහතා ඇතුළු විවිධ ජාතීන්ට අයත් බෞද්ධයන් එක්ව 1990 වසරේ පන්සලක් ඇරඹීය. අනුරාධපුරයෙන් ගෙන ගොස් රෝපණය කළ බෝධියක් එහි තිබේ.
පන්සලේ දාගැබට සිළුමිණ පිදුවේ බුරුම රටේ බොදුනුවන් ය. බෞද්ධ ඉතිහාසයේ පළමු වතාවට අපි‍්‍රකාවේ ඇතුන් යොදාගෙන පෙරහරකින් එම කොත් වහන්සේ වැඩම කරනු ලැබුණි. ඇතුන් හීලෑ කරනු ලැබුවේ මහනුවර දළදා මැදුරේ ඇත්ගොව්වන් විසිනි.
කෙන්යාවේ ද ථේරවාදී විහාරයක් ඇත. එය සෑදුවේ එරට ශ්‍රී ලාංකිකයන්ගේ ද ආධාරයෙනි. එම පන්සලට බෝධියක් සහ බුදු පිළිමයක් වැඩමවන ලද්දේ ලක්දිවෙනි. චීන බෞද්ධයන් පවත්වාගෙන යන සමාජ සේවා මධ්‍යස්ථානයක් මලාවි රටේ ඇත. ශ්‍රී ලාංකිකයන් ඇරඹූ බෞද්ධ සමිතියක් සැම්බියාවේ තිබේ.
උගන්ඩාවේ බුද්ධරක්ඛිත හිමි ථේරවාදී සම්ප්‍රදාය අනුව පැවැදි වූ මුල්ම අපි‍්‍රකානු භික්ෂුව යි. උසස් අධ්‍යාපනය සඳහා ඉන්දියාවට පැමිණි ස්ටීවන් කබගෝෂා තරුණයා තායිලන්ත භික්ෂූන්ගේ ආශ්‍රය නිසා බුදු දහම වැළඳ ගත්තේය.
ඔහු ආපසු උගන්ඩාවට පැමිණි දිනයේ සතුන් මරා සාදයක් පැවැත්වීමට පවුලේ පිරිස සූදානම් වූහ. ස්ටීවන් එය ප්‍රතික්ෂේප කළේය. ඔහුගේ ගමන් මලුවල තෑගි බෝග වෙනුවට තිබුණේ බෞද්ධ පොත්පත් රැසකි. තම පවුලේ සාමාජිකයාගේ හදිසි වෙනස දුටු නෑදෑ හිතවත්තු පොත්පත් ගිනි තබා නැවත ක්‍රිස්තියානි ආගම වැළඳගන්නට ඔහුට බලපෑම් කළහ.
නමුත් දැඩි අධිෂ්ඨානයකින් කටයුතු කළ ස්ටීවන් 2002 වසරේ උගන්ඩාවේ බුද්ධරක්ඛිත නමින් අමෙරිකා එක්සත් ජනපදයේ දී පැවිදිව හේනේපොල ගුණරතන නාහිමියන්ගෙන් බුදුදහම ඉගෙනුම සහ භාවනා පුහුණුව ලැබුවේය.
උන්වහන්සේ 2005 අප්‍රේල් මස උගන්ඩාවට බුදුදහම හඳුන්වා දෙමින් කම්පාලා අගනුවර ආසන්නයේ පන්සලක් ඇරඹුවේය. මුල් අවධියේ බුද්ධරක්ඛිත හිමියන්ගේ ආගම් මාරුවට විරෝධය පෑව උන්වහන්සේගේ නෑදෑ පිරිස අතරෙන් බොහෝ දෙනා පසුකලෙක බුදුදහම වැළඳ ගත්හ. මෑණියෝ උගන්ඩාවේ ප්‍රථම භික්ෂුණිය යි. ආගමික හා සමාජ සේවාවන් රැසක් උගන්ඩා බෞද්ධ මධ්‍යස්ථානයෙන් සිදුකෙරේ.
පැවිද්දකු ලෙස ජනතාව අතරට යන විට බුද්ධරක්ඛිත හිමියන්ට විවිධ ගැටලුවලට මුහුණ දෙන්නට සිදුවුණි. පාත්‍රය රැගෙන යන විට එය බෝම්බයක් යැ යි සිතූ® ඇතැම්හු මවිත වූහ. උරෙහි දමාගත් ගමන් මල්ල දුටු සමහරු දේශීය බෙහෙත් වෙළෙන්දකු යැ යි සිතා බෙහෙත් ඉල්ලූහ.
උන්වහන්සේගේ වටාපත දැක ආත්මාරක්‍ෂාවට පපුව පළිහකින් ආවරණ කරගත් ආරක්‍ෂක භටයකු යැ යි අනුමාන කළහ. බුද්ධරක්ඛිත හිමි 2004 වසරේ ලක්දිවට ද වැඩම කළහ. ළමා වියේ දී පෙර ජීවිතයේ මතකයෙන් පිරිත් සූත්‍ර සිය ගණනක් කට පාඩමෙන් පැවැසූ ධම්මරුවන් මහතා බුද්ධරක්ඛිත හිමියන්ට බුදුපිළිමයක් පිරිනැමුවේය.
කෙන්යා ගුවන් තොටුපොළේ නිලධාරීහු බුදුපිළිමය තුළ මත්කුඩු ඇතැයි සැක කරමින් එය කඩා දැමූහ. මගේ නම බුද්ධරක්ඛිත ය. මම බුදුන් රකින්නෙකි යැයි සිතා උන්වහන්සේ බුදුපිළිමයේ කොටස් සිවුරක ඔතාගෙන උගන්ඩාවට රැගෙන ගියහ. මේ සියලු අභියෝග මැඬගෙන බුද්ධරක්ඛිත හිමියෝ අපි‍්‍රකාවේ බුදුදහම පතුරුවති. උන්වහන්සේ මේ දිනවල ලක්දිවට වැඩ සිටිති.
භික්ෂූන් දැක නොමැති බෞද්ධ සිරිත් ගැන කිසිවක් නොදන්නා ටැන්සානියා වැසියෝ භික්ෂුවක දුටු විට මසායි ගෝත්‍රිකයකු යැ යි සිතති. මසායි යනු වනගතව වෙසෙන නිර්භීත සටන්කාමී ගෝත්‍රික පිරිසකි. ඔවුන් අඳින්නේ රතු පැහැති ලෝගුවකි. භික්ෂුවක යන එන දෙස ජනයා බලා සිටින්නේ බියමුසු කුතුහලයකිනි. චීන චිත්‍රපට බලන අපි‍්‍රකානු තරුණ පිරිස් ඔවුන්ට ෂවොලින් කුන්පූ උගන්වන්නැ යි භික්ෂූන්ගෙන් ඉල්ලා සිටිති.
අපි‍්‍රකාව යනු අකුරු කියවීමට නොදන්නා, ආහාර හිඟයෙන් දුක්විඳින ජන සමූහයක් සිටින මහාද්වීපයකි. එසේම අපි‍්‍රකාවේ ගෝත්‍රික ජනයා යක්ෂයන් හා දෙවියන් අදහන, මිථ්‍යා විශ්වාසයන්හි ගිලුන පිරිසකි. බුදුදහම යනු මැවුම්කාර දෙවියකු නොපිළිගන්නා දහමකි. මිථ්‍යා විශ්වාස හෙළාදකින දහමකි. එම නිසා, ඔවුන්ට බුද්ධාගම හඳුන්වාදීම අභියෝගයකි.
එයට නැඹුරුවන පිරිස ඉතා සීමිත ය. ජනතාව යහපත් ජීවිතයකට යොමුකළ හැක්කේ ඔවුන්ගේ භෞතික අවශ්‍යතා ඉටුකෙරෙන සුබසාධන කටයුතුවලිනි. නූගත්කම, දිළිඳුකම, සංස්කෘතික පරතරය දුරස් වීම වැනි හේතු නිසා අපි‍්‍රකාවට බුදු දහම හඳුන්වා දීම දුෂ්කර කාර්යයකි. කෙසේ වුව ද, ශ්‍රී ලාංකික බෞද්ධයන් අතීතයේ මෙන් ම අදත් බුදුදහම ලොව පුරා පැතිරවීමට දරන ප්‍රයත්නය ඉතා ප්‍රශංසනීය වූවකි.

free counters