බුදු සමය වශයෙන් සාමාන්‍යයෙන් අදහස්‌ කරනු ලබන්නේ 18 වැනි සියවසේ අග භාගයෙන් පසු කාලයට අයත් බුදු දහමයි. විශේෂයෙන්ම 19 වැනි සියවසේ සිද්ධ වූ දේශපාලනික, ආර්ථික හා තාක්‍ෂණික පෙරළි නිසා බුදු දහම බටහිරට ව්‍යාප්ත වී ගිය ආකාරය අවධාරණය කෙරේ.

බොරෝබුදූර් මහා සිද්ධස්ථානය


සිරිලක බොදු සැදැහැවත්තු සාමයික භක්තියෙන් සැදීපැහැදී පූජනීය සිද්ධස්ථාන වන්දනාවෙහි යෙදෙති. කාලාන්තරයක් තිස්සේම අපගේ දේශයේ බැතිමතුන් සිය ප්‍රධාන වන්දනීය බෞද්ධ ප්‍රදේශය වශයෙන් සැලකුවේ දඹදිවයි. අදත් එසේය. සිද්ධාර්ථ කුමරු උපත ලැබුවේ හැදුනේ, වැඩුනේ දඹදිවයි. එතුමන් ගිහිකල විවාහ ජීවිතයට ඇතුළු වූයේත් දඹදිවදීය. සිය පුත්‍රරත්නය ඉපදීමේ සිද්ධියට එතුමා මූණ පෑයේත් දඹදිවදීය. ගිහිගෙය අතහැර එතුමා අභිනිෂ්ක්‍රමණය කොට සිදුහත් තවුසා වශයෙන් සත්‍ය ගවේෂණයේ යෙදුණේත්, දඹදිවමය. සය වසක් දුෂ්කර ක්‍රියාකොට සිදුහත් තවුසා සම්මා සම්බෝධිඥානය ලද්දේත් දඹදිව දීමය.
ඉන් පසුව පන්සාලිස් වසක් මුළුල්ලේ එතුමා දඹදිව සැරිසැරුවේය.මහා පරිනිබ්බාණයෙන් පසුවත් උන්වහන්සේ ආශි‍්‍රත සිද්ධස්ථාන දඹදිව පිහිටා සිටියේය. ඒනිසා ශ්‍රී ලංකාවේ බෞද්ධයෝ බහුල වශයෙන් ඉන්දියාවේ සංචාරයේ යෙදෙති. බෞද්ධ නොවන ශ්‍රී ලාංකිකයෝත්, වරින්වර දඹදිව චාරිකාවල යෙදෙති. තායිලන්තය වැනි බොදු දේශවලත් ශ්‍රී ලංකා බැතිමත්තු වන්දනාවේ යෙදී ගමන් කරති.

ඊට අතිරේක වශයෙන් බෞද්ධ වන්දනාකරුවන් විසින් යා යුතු තවත් අසහාය සිද්ධස්ථානයක් ගැන කරුණු දක්වා ලීම මේ ලිපියේ මුල් අදහසයි.
මේ සිද්ධස්ථානය ‘බොරෝබුදූර්” නම් වේ. එය පිහිටා තිබෙන්නේ , ඉන්දුනීසියාවේ මධ්‍යම ප්‍රදේශයේ යෝග් ජකර්තා නම් ප්‍රධාන නගරය ආශි‍්‍රතවයි. මේ සිද්ධස්ථානය, ලෝකයේ විශාලතම බෞද්ධ සිද්ධස්ථානය හැටියට සලකනු ලැබේ. යෝග් ජකර්තා –ජෝග් ජකර්තා යන නම්වලින් හැඳින්වෙන නගරයට නුදුරුව පිහිටි මේ මහා බෞද්ධ සිද්ධස්ථානය, අතිශය විශිෂ්ට ලෙස නිර්මාණය වූ සුවිසල් බෞද්ධ සිද්ධස්ථානයකි. බොහෝ දෙනා විසින් මෙය හඳුන්වනු ලබන්නේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම බෞද්ධ ගොඩනැඟිල්ල වශයෙනි.
ඉන්දියානු සාගරයේ, අප රටට නැගෙනහිරින් පිහිටි අපගේ අසල්වැසි දේශයක් වන ඉන්දුනීසියාවේ ස්ථාපිත මේ ආශ්චර්යමත් බෞද්ධ සිද්ධස්ථානය , “බොරෝ බුදුර්” සිද්ධස්ථානය “ලෝක උරුම ප්‍රදේශයක්” හැටියට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ “යුනෙස්කෝ” ආයතනය විසින් ප්‍රකාශිතය.
බොරෝ බුදූර් මහා සිද්ධස්ථානය ගැන අප මෙසේ ලියන්නේ, සැදැහැවත් බෞද්ධ ජනතාවට ඉතාම භක්තිජනක අලුත්ම අලුත් බෞද්ධ වන්දනා ස්ථානයක් හඳුන්වා දෙනු පිණිසයි. නවමු බුද්ධාලම්භන පී‍්‍රතියක් සම්පාදනය කරදෙනු පිණිසයි.
මා “බොරෝබුදූර්” සිද්ධස්ථානය පිළිබඳව ඔබට කරුණු කියා දෙන්නේ විශේෂ පසුබිමක් සහිතවයි. “යුනෙස්කෝ” ආයතනයත් ඉන්දුනීසියානු රජයත් ඒකාබද්ධව, මේ මහා සිද්ධස්ථානයේ දැවැන්ත ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් කරගෙන යන ලදී. ඒ හරියටම ,මෙයට අවුරුදු තිස් අටකට පෙරදීය. ඒ ක්‍රියාදාමය නිරීක්ෂණය කරනු පිණිස යුනෙස්කෝ ආයතනය විසින්, ලෝකයේ මාධ්‍යවේදීන් කිහිපදෙනෙක්, එහි කැඳවාගෙන යනු ලැබූහ. ඒ විශේෂ වරප්‍රසාද සහිත කණ්ඩායමේ එක් ආරාධිතයෙක් වීමේ භාග්‍යය මට උදාවූයේය. ඒ නිසා, බොරෝ බුදූර් සිද්ධස්ථානයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාදමය සියැසින්ම දැක ගැනීමේ වාසනාව ලද, පැරණිතම ශ්‍රී ලාංකිකයා මා විය හැකියැයිද මට සිතෙන්නේය.
බොරෝබුදූර් සිද්ධස්ථානය පිහිටියේ යෝග් ජකර්තා නගරයේ සිට සැතපුම් 28 ක් උතුරිනි. ඉපැරණි ඉන්දුනීසියා දේශය, වරින්වර නොයෙක් පාලකයන් යටතේ පැවතියේය. එක්කලක් ඉන්දුනීසියා දේශය ශ්‍රී විජයන් අධිරාජ්‍යයට අයත්ව තිබුණේය.මේ අධිරාජ්‍යයේ පාලකයෝ හින්දු – බෞද්ධ ආගම් දෙකටම අනුග්‍රහය දැක්වූහ.
ඉපැරණි ප්‍රවාදයකට අනුව, ශ්‍රී විජයන් අධිරාජ්‍යයට ඉන්දුනීසියාව යා කොට ගන්නා ලද්දේ ඉන්දීය නෞකා හමුදාවක් විසිනි. ඒ නෞකා ඉන්දුනීසියාව බලා යාත්‍රා කරන ලද්දේ ශ්‍රී ලංකාවේ වරායවල සිටයි. ඒ නිසා ඒ නෞකා හමුදාවේ සේවය කළ යාත්‍රිකයන් අතර සිංහලයෝද සිටිය යැයි පැරණි කථාවල සඳහන් වේ.
ශ්‍රී විජයන් අධිරාජ්‍යයේ පාලන සමය සේ, එක් යුගයකදී සයිලේන්ද්‍ර නම් පෙළපතකට අයත් පාලකයෝ බලයෙහි සිටියහ. ඉන්දුනීසියාවේ බොරෝබුදූර් සිද්ධස්ථානය ගොඩනංවන ලද්දේ සමරතුංග නම් වූ සයිලේන්ද්‍ර පෙළපතේ රජු විසිනි.
මේ අති සංකීර්ණ බෞද්ධ සිද්ධස්ථානය, තනා නිමකරන ලදදේ ක්‍රිස්තු වර්ෂ 825 දීය. ඒ නිසා මේ මහා සිද්ධස්ථානය වයස අවුරුදු 1200 ක් පමණ වන්නේය.
බොරෝබුදූර් සිද්ධස්ථානය සහමුලින්ම තැනී තිබෙන්නේ ඇන්ඩිසිට් නම් ගල් වර්ගයෙනි. දුඹුරු පැහැයට හුරු මේ ගල්වර්ගය ගිනිකඳු පිපිරීම් නිසා හටගන්නා ලෝදිය, ඒක ඝනවීමෙන් තැනෙන පාෂාණ විශේෂයකි.
බොරෝබුදූර් සිද්ධස්ථානය තැනීම සඳහා මේ වර්ගයේ ගල් ඝන යාර 72,000 ක් භාවිත කෙරුණේය.
බොරෝබුදූර් නිර්මාණයේ සුවිශේෂී ලක්ෂණයක් ඇත්තේය. නිසි ප්‍රමාණයට කපා ගන්නා ලද ගල්පුවරු එකිනෙක හා සමඟ සම්බන්ධකොට තිබෙන්නේ බදාමකින් නොවේ. ගල් දෙකක් එකිනෙක හා පුරුද්දා තිබෙන්නේ “කත්තුමල්ලිය” ක්‍රමයටයි. මෙය ඉංගිරිසියෙන් නම් කෙරෙන්නේ ඤධමඥ-බචඪත ක්‍රමය හැටියටයි. එක ගලක සිදුරට, අනික් ගලේ නෙරාගිය කොටස වද්දවා ඇත්තේය.
බොරෝබුදූර් සිද්ධස්ථානයට යන බැතිමත්හු වට තුනක් ඔස්සේ ඉහළම මාලයට ගමන් ගනිති. මේ ගමන ඉතා ක්‍රමවත්ය. මේ සිද්ධස්ථානයේ “මාල” (තට්ටු) සකස්කොට තිබෙන්නේ ගැඹුරු බෞද්ධ දර්ශනයට අනුවයි. වන්දනාවේ යෙදෙන බැතිමතා, සිය පූජනීය ගමන ආරම්භ කරන්නෙ බිම්මාලයෙනි. ඒ බිම්මාලයෙන් නිරූපණය වන්නේ කාම ලෝකයයි. ලෞකික ක්‍රියාදාමයයි. ඒ මාලය නම් කෙරෙන්නේ “කාම ධාතු” මාලය වශයෙනි.
අනුක්‍රමයෙන්, වන්දනා කාර බැතිමතා, ඉහලට නගින්නේය. ඒ නඟින්නේ ප්‍රදක්ෂිණා ක්‍රමයටයි. හැම විටම, සිය සිරුරේ දකුණූ පැත්ත සිද්ධස්ථානයේ පූජනීය වස්තුවලට හැරී තිබෙන සේ ගමන් කළ යුතුවේ.
එසේ පියගැට පෙළ නගිමින් ගමන් ගන්නා බැතිමතාට, විවිධ රූප නෙළන ලද ගල්බිතු දැකිය හැකිය. ඒ නෙළන ලද රූපවලින් දැක්වෙන්නේ බුද්ධ චරිතයේ සිද්ධි සහ ජාතක කථාවල කොටස්ය. ගල්බිතුවල සහ ගල්වැටවල නෙළා තිබෙන රූප සංඛ්‍යාව 1460 කටත් වැඩිය. මුළු ලෝකයේම ඉතා විශාල ප්‍රමාණයක් ගල්කැටයම් තිබෙන්නේ බොරෝබුදූර් සිද්ධස්ථානයේය.
“කාමධාතු තලය” ඉක්මවා තවත් ඉහළට නඟින බැතිමතුන්ට හමුවන්නේ “රූපධාතු” තලයයි. උඩට නඟින්නට නඟින්නට පියගැට පේළි පටුවෙයි. බිම් මට්ටමේදී ඉතා පුළුල්ව තිබෙන ගොඩනැඟිල්ල ඉහළට යත් යත්ම පටුවෙයි. ඉහළම තලය ස්තූපයක කොත වැනිය.
කාම ධාතු තලයට අයත් කොටසෙහිත් රූපධාතු තලයට අයත් කොටසෙහිත් ගලින් කළ ස්තූප ඇත්තේය මේ ස්තූප තනා තිබෙන්නේ ඒවා ඇතුලේ තැන්පත්කොට තිබෙන බුද්ධ රූප පෙනෙන ආකාරයෙනි.
ගොඩනැඟිල්ල මුදුනේ තිබෙන්නේ”අරූප ධාතු” තලයයි. එය මුදුනේ ගලින්කළ ස්තූපයක් වෙයි. එය ඝන ගලින් කළ නිර්මාණයකි. එහි ඇතුළත තිබෙන දේ දැකිය නොහැකියි.
ඒ විනිවිද නොපෙනෙන ස්තූපය “නිර්මාණයේ” මූර්තියකි.
ඒ නිසා, වන්දනා කාර සැදැහැවතුන් බිම් මාලයේ සිට ඉහළම මාලයට යන විට ඒ පූජනීය ගමන ලෞකික තත්වයේ සිට ලෝකෝත්තර තත්වය දක්වා සංචාරයේ යෙදීමක් වැනිය.
මෙවැනි වන්දනා ගමනක්, ලෝකයේ වෙන අන් කිසි බෞද්ධ සිද්ධස්ථානයක ලද හැකි නොවන්නේය. වන්දනාවේ යෙදෙන බැතිමත්හු බිම්මාලයේ සිට, උස්ම තලයට නඟිනවිට ඒ සංචාරය ලෞකිකත්වයේ සිට නිර්වාණ තලයට සම්ප්‍රාප්ත වීමක් වැනි වෙයි.
බොරෝබුදූර් සිද්ධස්ථානය ආශි‍්‍රතව ඉතා සිත්ගන්නා කථාවක් වෙයි. මේ ආශ්චර්යමත් මහා සිද්ධස්ථානය සැලසුම්කොට තනන ලද්දේ, ගෘහ සහ සිද්ධස්ථාන නිර්මාණශීලි ගුණධර්ම නම් විද්‍යාඥයා විසිනි.
බොරෝ බුදූර් සිද්ධස්ථානයට නුදුරුව පර්වතයක් වෙයි. එහි එක් විශාල ගල්කුළක් පෙනෙන්නේ උඩ බලාගෙන සිටින මහා යෝධයෙකුගේ මුහුණ මෙනි. ජනප්‍රවාදයට අනුව,ඒ බොරෝබුදූර් සිද්ධස්ථානය තැනු ගුණධර්මයේ රූපයයි. තමා විසින් කරන ලද මහා නිර්මාණය මරණින් පසුවත් බලා සිටිය හැකිවනු පිණිස ඔහු ගල් කුළක්ව උපන්නේ යැයිද, මේ ගල් රුවේ දැක්වෙන්නේ ඒ ගුණධර්ම නම් විද්‍යාඥයා යැයිද ඔහු එසේ වැතිර සිටගෙන, සදා කල්හිම “බොරෝබුදූර්” සිද්ධස්ථානය රැක ගන්නේ යැයිද,ජන ප්‍රවාදයෙන් කියවෙයි.
බොරෝබුදුර් සිද්ධස්ථානය වටා පර්වත පේළි කිහිපයක් විහිදෙයි. “මෙරපි” නම් ගිනිකන්ද ඉන් එකකි. දැනටත් ඒ ගිනිකන්ද ඉඳහිට පුපුරා යන්නේය.
සමරතුංග රජු විසින් තනවන ලද,බොරෝබුදුර් සිද්ධස්ථානය , කලක් යහතින් වැජඹුණේය.එහෙත්, එය වරින්වර ගිනිකඳුවලින් නිකුත්වන අළුවලින් වැසී ගියේය. එහෙත් ඒ පුරාවස්තුව රැක ගන්නා පිණිස වෙහෙස ගත් මිනිස්සු, එක්රැස්වූ අළුගොඩවල් ඉවත්කොට සිද්ධස්ථානය රැකගත්හ. එහෙත් පසුකලෙක එය ගිනිකදු අළුවලින් සහ මහ ඝන වනගහණයෙන් වැසී ගියේය.
බොරෝබුදූර් සිද්ධස්ථානයේ ස්වර්ණ යුගයේදී එහි බුද්ධ ප්‍රතිමා 504 ක් තිබිණි.
පරිහානියට පත්වු බොරෝබුදූර් සිද්ධස්ථානය, ලන්දේසි – බ්‍රිතාන්‍ය පාලන යුගවලදී වරින්වර ප්‍රතිසංස්කරණය කොට, පුනරුත්ථාපනයට පත් කෙරිනි.
එහෙත් ඒ සිද්ධස්ථානය,අතිශය නවීන ක්‍රම මගින්, සුවිශිෂ්ට ආකාරයෙන් පුනරුත්ථාපනය කරන ලද්දේ එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ සංවිධානයේ ඉන්දුනීසියා රජයේත් සහයෝගයෙනි. මේ සහයෝගීතාවයෙන් බොරෝබුදූර්හි දැවැන්ත ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ආරම්භ වූයේ 1975 දීය. එහි පුරෝගාමී විද්‍යාඥයා වූයේ ඉන්දුනීදසියාවේ පුරාවිද්‍යා සේවයේ ප්‍රධාන මහාචාර්ය සෝචික්මෝනෝ මහතාය.
යුනෙස්කෝ ආරාධනයෙන් මා 1977 දී බොරෝබුදූර් සිද්ධස්ථානයට ගිය විට මේ මහාචාර්ය සෝචික් මොනෝ මහතා මා සමඟ කතා බහේ යෙදෙමින් මගෙන් විමසා සිටියේ මෙයයි. ඔබ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා දන්නවාද? මා තුළ නිම් හිම් නැති සතුටක් පහළ විය. “ඔව්, මම ඉතාම හොඳින් දන්නෙමි”යි මම කීවෙමි. බොරෝබුදූර් සිද්ධස්ථානය පුනරුත්ථාපනය කිරීමේ වටිනාකම,ලෝකයාට මුලින්ම කියා දුන් විද්‍යාඥයන්ගෙන් කෙනෙක් නම්, ඔබගේ දේශයේ ඒ ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා යැයි මහාචාර්ය සොචික්මොනෝ මහතා මට කීයේය.මේ දැවැන්ත ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය සඳහා “අයිබීඑම්” ඇමෙරිකානු ආයතනයේ පරිගණක යන්ත්‍රය භාවිතා කෙරිණි. ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙන් පසුව බොරෝ බුදූර් සිද්ධස්ථානය “ජගත් සංස්කෘතික උරුමයක්” වශයෙන් යුනෙස්කෝ ආයතනය විසින් ප්‍රකාශ කරන ලද්දේ 1991 දීය.
එතැන් පටන් බොරෝබුදූර් සිද්ධස්ථානය අතිශයින්ම ජනකාන්ත සංචාරක ආකර්ෂණයක් බවට පත්ව ඇත්තේය.
කලාකීර්ති ආචාර්ය 
එඩ්වින් ආරියදාස

free counters