බුදු සමය වශයෙන් සාමාන්‍යයෙන් අදහස්‌ කරනු ලබන්නේ 18 වැනි සියවසේ අග භාගයෙන් පසු කාලයට අයත් බුදු දහමයි. විශේෂයෙන්ම 19 වැනි සියවසේ සිද්ධ වූ දේශපාලනික, ආර්ථික හා තාක්‍ෂණික පෙරළි නිසා බුදු දහම බටහිරට ව්‍යාප්ත වී ගිය ආකාරය අවධාරණය කෙරේ.

American Buddhism

ඇමෙරිකානුවන් බහුතරය අද පුනර්භවය විශ්වාස කරනවා

කහඳ අමරබුද්ධි නාහිමි
කැලිෆෝනියාවේ ප්‍රධාන සංඝනායක
පුරා වසර විස්සකට අධික කාලයක් ඇමෙරිකාවේ ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරත වන කහඳ අමරබුද්ධි හිමියෝ ථේරවාදී බුදු දහම ලොව පුරා ප්‍රචාරය කිරීම පිණිස අනවරතව කැපව සිටින යතිවරයෙකි. එම ශාසනික මෙහෙවර වෙනුවෙන් උන්වහන්සේ අද දිනයේ කැලිෆෝනියාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබති. එම ධුරය පිරිනමන්නේ මල්වතු මහා විහාරයෙනි. අපි අමරබුද්ධි හිමියන් ඇමරිකාවේ සිදු කරනු ලබන ධර්ම ප්‍රචාරක කටයුතු පිළබඳවත්, මෙරට සිදු කරනු ලබන සමාජ මෙහෙවර පිළබඳවත් විමසුවෙමු.
* ඔබ වහන්සේ දශක දෙකකට ආසන්න කාලයක් ඇමෙරිකාවේ ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරත වෙනවා. ඒ ගැන විස්තරයක් කළොත්.

මම 1996 දී ඇමෙරිකාවට ගියේ එවකට එහි වැඩ සිටිය එල්ලාවල නන්දිස්සර නායක හාමුදුරුවන් ගේ ආරාධනාවකට අනුවයි. උන්වහන්සේ 86 වැනි වියේ පසු වුණේ. උන්වහන්සේගේ වයෝවෘධ භාවය හේතුකොට ගෙන මම ගිහින් ටික දවසකින්ම සියලු වැඩ කටයුතු මට පවරා උන්වහන්සේ ලංකාවට වැඩම කළා.
ඊට පස්සෙ මට හරිම තනිකමක් දැනුනා. නවතින්න පන්සලක් තිබුණේ නැහැ. මාස 02 ක් විතර කුලී නිවසක කාමරයක් අරගෙන නැවතිලා හිටියා. මා සිටින කැලිෆෝනියා ප්‍රදේශයටම හිටියේ බෞද්ධ පවුල් 13 යි. එහි ජීවත්වන මිනිස්සු මුළු අවුරුද්ද පුරාම හරිම කාර්ය බහුලයි. පන්සලට එන්නෙත් බොහොම කලාතුරකින්. ඒ නිසා මට දානය ලැබුණෙත් නැහැ. මා විසින්ම උයාගෙන දානය වැළඳුවා. මේ දුෂ්කර ජීවිතය ඇතිවෙලා මාස 06 කට පසුව මා නැවත ලංකාවට එන්න සූදානම් වුණා.
“අනේ හාමුදුරුවනේ යන්න එපා අපට කව්රුත් නැහැ” කියලා අපේ දායකයො කිව්වා. ඒ නිසා මම යළිත් ටික කාලයකට නතර වෙන්න තීරණය කළා. ඒ අතරතුර දී මම ඉංගි‍්‍රසි පරිගණක උගන්වන “සිටි කොලේජ්” එකකට ගිහිල්ලා ඉගෙන ගත්තා. අවුරුදු දෙකකට පස්සේ මට ඒ පාසලේම පරිගණක ගුරු පත්වීමක් ලැබුණා. ඊට අමතරව ශිෂ්‍ය උපදේශකවරයෙක් හැටියටත් වැඩ කළා. එහි සේවයට මට වැටුපක් ලැබුණා. ඒ මුදලුත් දායකයන් ගෙන් ලැබුණු ආධාරත් යොදවල සැන්ටක්ලෝරා නගරයෙන් අක්කර 1/2ක ලොකු ඉඩමක් ගත්තා. එහි බොහෝ අබලන් පුංචි ගෙයකුත් තිබුණා.
පුංචි ගෙය යාන්තම් ඉන්න පුළුවන් තත්ත්වයට අලුත්වැඩියා කරගත්තා. මේක බොහොම ශීතල කාලයක්. කාමරය උණුසුම් කරගන්න හීටරයක්වත් තිබුණේ නැහැ. ගෑස් ලිප පත්තු කරලයි උණුසුම් කරගත්තේ. ඒ කාලය තුළදී මට වියට්නාම, කාම්බෝජය, ලාඕස් රටවල හාමුදුරුවරු අඳුනගන්න ලැබුණා. ඒ හාමුදුරුවරු මට බණ කියන්න ආරාධනා කළා. මොකද ඒ රටවල තියෙන්නේ මහායාන බුද්ධාගම.
මහායාන බුද්ධාගමේ අපේ චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධය ලබාදෙන්නේ බොහොම අඩුවෙන්. ඒ නිසා මම චතුරාර්ය සත්‍ය පැත්තට යොමුවෙලා ධර්මය දේශනා කරන්න පටන් ගත්තා. සුදු ජාතිකයන් චතුරාර්ය සත්‍ය පිළිබඳ බණ අහන්න වැඩි කැමැත්තක් දැක්වුවා. ක්‍රම ක්‍රමයෙන් මගේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්න එන විදේශික පිරිස් වැඩි වුණා. ඔවුන්ගේ උදව් උපකාර ඇතිව 1999දී බුද්ධි විහාරස්ථානය නමින් විහාරස්ථානයක් ආරම්භ කළා. එය පුස්තකාලය, දානශාලාව, විහාරගෙය, බෝධීන් වහන්සේ ඇතුළු විහාරාංගයන්ගෙන් සමන්විතයි.
ලංකාවේ වගේම අමෙරිකාවෙත් පන්සල හොඳට තියෙනව නම් වත්පිළිවෙත් නිසි පරිදි කෙරෙනව නම් මිනිස්සු ඒ පන්සලට ඇදෙනවා. මම හැම බදාදාම බෝධි පූජාවක් තියනවා. සුදු ජාතිකයන් හරිම කැමතියි ගාථා කියන්න. ඒ අයත් ගාථා කියන්න උත්සාහ කරනවා. අපි ඒ අයටත් ගාථා පොතක් දීල තියෙනවා. ඊට අමතරව ජනවාරි 01 වැනිදා පිරිත් කියල ආශීර්වාද කරනවා. නිදහස් උත්සවය පවත්වනවා. වෙසක්, පොසොන් පොහොය දිනවලදී සිල් සමාදන් වෙනවා. පුංචි ළමයින්ට දහම් පාසලක්, භාවනා පංතියක්, සිංහල පංතියක් පවත්වනවා. දැන් මගේ පන්සලේ දායකයො 400 ට වැඩි පිරිසක් ඉන්නවා.
දැනට විහාරස්ථානයේ නේවාසික භික්ෂූන් වහන්සේලා තුන්නමක් වැඩ සිටිනවා. වරින්වර ලංකාවෙන් උගත් භික්ෂුන් වහන්සේලා 11නමක් ගෙන්වාගෙන නේවාසික පහසුකම් ලබාදී මේ ප්‍රදේශයේ ජනතාවට ආගමික සේවාවන් ලබාදීමට කටයුතු කළා. අපේ ස්වාමීන්වහන්සේලා එකතුවෙලා ගාල්ලේ පිරිවෙනක් ආරම්භ කරලා තියෙනවා ධර්මය ඉංගී‍්‍රසියෙන් උගන්වන. බුදුදහම, පාලි, සංස්කෘත උගත් බහුශ්‍රැත, විනයෙන් පිරිපුන් භික්ෂූන් පිරිසක් මේ ස්ථානයෙන් බිහි වෙනවා. මේ පිරිස ඉදිරියේදී ඇමෙරිකාවේ ධර්ම ප්‍රචාරක කටයුතුවලට ගෙන්වා ගැනීමට මා බලාපොරොත්තු වෙනවා.
* බහුතර ක්‍රිස්තියානි පිරිසක් සිටින අමෙරිකාවේ බුද්ධාගමට ඇති පිළිගැනීම කොහොම ද?
අමෙරිකාවේ සෑම පාසලකම උගන්වන “වර්ල්ඩ් රිලිජන්” කියන විෂය ඒකෙන් මුළු ලෝකයේම තියෙන ආගම් ගැන කියලා දෙනවා. එහිදී මම බුද්ධාගම ගැන කියලා දෙනවා. වර්තමානයේ දී විදේශිකයන් බුද්ධාගමට වැඩි නැඹුරුවක් තියෙනවා. අවබෝධයක් තියෙනවා.
1996 දී මම සෑහෙන්න දුක් වින්දා. කාර් එකක් තිබුණේ නැහැ. මම නැවතිලා හිටිය තැන ඉඳන් පාසලට හැතැප්ම 03 ක් විතර තියෙනවා. බස් එකේ යන්න “ඩේ පාස්” එකක් ඕනෑ. ඒකට ඩොලර් 2.50 ක් ඕනෑ. ඒ ටිකට් එකෙන් මුළු දවසම යන්න පුළුවන්. ඩොලර් 2.50 තිබුණේ නැති දවස් තිබුණා. එදාට පයින් ඇවිදගෙන පාසලට ගිහින් නැවතත් දානෙට පයින්ම එනවා. නැවතත් හවසට පයින්ම පාසලට යනවා. ඒ දුක් විඳපුව මතක් වෙනකොටත් දැන්නම් සතුටු යි.
ඉස්සර මම පන්සලට පයින් ඇවිදගෙන යනකොට පිරිමි ළමයි උසුළු විසුළු කරනවා. ඒ අය හිතන්නේ මේ සිවුර අමුතු ඇඳුමක් කියලා. ඒත් අද ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. අපිව දකිනකොට මිනිස්සුන්ට හරිම සතුටුයි; දණගහල වඳිනවා. අමෙරිකානුවන් අද කියනවා “මම ආගමක් අදහනව නම් ඒ බුද්ධාගම අදහන්නේ” කියලා.
දවසක් සැන්ප්‍රැන්සිස්කෝ වල පැවැත්වුණු දලයිලාමා තුමාගේ දේශනයකට මමත් සහභාගි වුණා. ඒ ශාලාවේ එකවර 26,000 කට අසුන් ගන්න පුළුවන්. මුළු ශාලාවම පිරෙන්න සෙනඟ හිටියා. ඉදිකටුවක් වැටුණත් ඇසෙන තරමේ නිශ්ශබ්දතාවයක් පැවතුනේ. දලයිලාමා තුමා දේශනය කරන වෙලාවෙදි හැම කෙනෙක්ම එම දේශනය ලියා ගන්නවා මම දැක්කා. එතන හිටි අයගෙන් 90%ම සුදු ජාතිකයන්. ඒ නිසා බුදුදහමට, බෞද්ධ භික්ෂුන් වහන්සේලාට වෙනදාට වඩා පිළිගැනීමක් දැන් අමෙරිකාවේ තිබෙනවා.
අද ඇමෙරිකාවේ ක්‍රිස්තියානි ආගම අදහන පිරිස 10% ටත් අඩුයි. හොඳම උදාහරණය තමයි මම පන්සල පටන් ගන්නකොට අල්ලපු වත්තේ තිබුණේ විශාල පල්ලියක්. එතරම් විශාල පල්ලියක් මම ලංකාවේ දී දැකලා නැහැ. අක්කර ගණනක් පුරා විහිදී පැවැති මේ පල්ලියේ රථවාහන නතර කරන ස්ථාන 500 ට වඩා තියෙනවා. 1999 දී පමණ ඉරිදාට පැවැත්වෙන දේව මෙහෙයට පැමිණි කාර් 300 ක් විතර එහි නතර කර තිබෙනවා. ඒත් දැන් ඉරිදට කාර් 50 ක් වත් නැහැ. අවුරුදු 10 ක් විතර කාලයක් ඇතුළත දී මිනිස්සු ඒ තරමට ම ක්‍රිස්තියානි ආගමෙන් ඈත්වෙලා.
* ඒ සියලු දෙනා අද බුදු දහම අදහනවද?
නැහැ. හැම ආගමක් පිළිබඳවම ඔවුන්ට අවබෝධයක් තියෙනවා. විද්‍යාවත් සමග මිනිසුන් අද දියුණු වෙලා. දෙවියන් වහන්සේ ලෝකය මැව්වානම් මෙහෙම වෙන්න පුළුවන්ද කියා ඔවුන් අද ප්‍රශ්න කරනවා.
* බටහිර ජාතීන් විශේෂයෙන් ඇමෙරිකානුවන් අතර භාවනාව කෙරෙහි විශේෂ උනන්දුවක් ඇතිවෙලා නේද?
අද ඇමෙරිකානුවන් පුදුම විදියට භාවනාවට යොමු වෙලා තියෙන්නේ. ගොයංකාජි කියන ඉන්දියානු ජාතිකයා විසින් පවත්වාගෙන යනු ලබන භාවනා මධ්‍යස්ථාන 54 ක් ඇමෙරිකාව පුරාම තියෙනවා. අපේ පන්සලට ගොඩක් ඈතින් කැලෑවක මේ එක් භාවනා මධ්‍යස්ථානයක් පිහිටා තිබෙනවා. වසරකට දින 10 ක් මා මෙහි නේවාසිකව භාවනා කරනවා. එතැනට ගියාම මුණගැහෙන සියලු දෙනාම සුදු ජාතිකයන්. වයස් සීමාවක් නැහැ. විශේෂයෙන් තරුණ පිරිස වැඩියි.
ඇමෙරිකාවේ ජීවත්වන පිරිස නිතරම තම රැකියාව රැක ගැනීමේ අරගලයකයි යෙදී සිටින්නේ. ආයතනය ලාභ ලබන්නේ නැත්නම් ඕනෑම වෙලාවක සේවකයන් අස්කරල දාන්න පුළුවන්. සේවකයන් අඩු කිරීමට දෙන්නෙක්ගේ වැඩ ප්‍රමාණය එක් අයෙකුට පවරන්න පුළුවන්. මේ නිසා මිනිස්සු හරිම පීඩනයෙන් ඉන්නේ. රැකියාව කරන ගමන් දරුවන්ගේ වැඩ ගෙදර දොරේ වැඩ, සියල්ල තනිවම කරගත යුතුයි. මෙවැනි පීඩාකාරී දිවි ගෙවන ඔවුන්ට භාවනාව මහත් අස්වැසිල්ලක්.
ඒ අය වැඩි කැමැත්තක් දක්වන්නේ විපස්සනා භාවනා ක්‍රමයට යි. භාවනාව කිරීම හරිම ලේසියි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒත් ඒක අමාරුයි. ඒ සඳහා ලොකු ආත්ම ශක්තියක් තියෙන්න ඕනෑ. කැප කිරීමක් කරන්න ඕනෑ.
සුදු ජාතිකයන් භාවනාවට යොමු වෙන්නේ සිත එකලස් කර ගැනීමට යි. භාවනාව තුළින් ඔවුන්ට සැනසීමක් ලැබෙනවා. ඒ තුළින් බුද්ධාගම ගැන දැනගන්න උත්සාහ කරනවා. ඒ විදියට බුද්ධාගමට යොමු වූ ඇමෙරිකානුවන් දෙදෙනෙක් මගේ ළඟ මහණ වුණා. ජෝසප් නම් වූ එක් අයෙක් විවාහ වී දරුවන් ද සිටියා. ඔහු මුලින්ම ඉගෙන ගත්තේ හින්දු ආගම. ඊට පසුව මුස්ලිම් ආගමත් මහායාන බුද්ධාගමත් ඉගෙන ගත්තා. ඉන්පසු ථේරවාදයට ඇවිත් මහණ වුණා. ඉදිරියේ දී මේ ප්‍රමාණය තවත් වැඩිවේවි.
සුදු ජාතිකයන් අද පුනර්භවය විශ්වාස කරනවා. කර්මය ගැන කතා කරනවා. ඇත්තටම අද පල්ලි සෑහෙන ප්‍රමාණයක් වැහිලා තියෙනවා. අද ඇතැම් පන්සල් ඉදිකර තිබෙන්නේ පල්ලි තිබූ තැන්වලයි.
* ඔබ වහන්සේ මෙවර ලංකාවට වැඩම කළේ විශේෂ කටයුත්තක් සඳහා නේද?
මම හැම අවුරුද්දකම නොවැම්බර් මාසයේ ලංකාවට එනවා. පාසල් ළමයින්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහායි මා මෙවරත් පැමිණියේ. 2000 වසරේ සිට මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා.
අධ්‍යාපනයට දක්ෂ එහෙත් දුප්පත් ළමයි ජාති ආගම් කුල භේදයෙන් තොරව මේ සඳහා තෝරාගන්නවා. ඒ සඳහා මාගේ ගුරු හාමුදුරුවන් වන මාබොටුවන පියරතන ලොකු හාමුදුරුවෝ මට උපකාර කිරීම මෙහිදී කෘතවේදීව සිහිපත් කරනවා. මුල් අවධියේ දී එක දරුවකුට රු. 1000/= බැගින් දුන්නා.
ඒක ඒ තරම්ම සාර්ථක වුණේ නැහැ. ඇතැම් දරුවන්ගේ පියවරුන් විසින් ඒ සල්ලි අරගෙන මත්පැන් පානය කරන බව මට දැනගන්න ලැබුණා. ඒ නිසා මම දැන් දුප්පත් දක්ෂ දරුවන් තෝරාගෙන ඔවුන්ට මුළු අවුරුද්දටම අවශ්‍ය පෑන් පැන්සල් පොත්පත් බෑග් අරගෙන දෙනවා.
ගිය වසරේ අමෙරිකාවෙන් පොත් 12,000ක් ගෙනාවා. දැනට ගාල්ල, කුරුණෑගල, කළුතර, වැලිඔය, ඇතුළු ප්‍රදේශ රැසක දූ දරුවන්ට මේ ශිෂ්‍යත්ව ප්‍රදානය කරල තියෙනවා. මෙවර ගාල්ල කහඳ මහ විදුහලේ ළමයි 354 දෙනකුට ශිෂ්‍යත්ව ලබා දුන්නා.
ඊට අමතරව අනුරාධපුරයේ වැසිකිළි පද්්ධතියක්, විවිධ ප්‍රදේ්ශවල නිවාස ඉදිකිරීමටත්, දිළිඳු විහාරස්ථාන ප්‍රතිසංස්කරණය සඳහාත් මුදල් පරිත්‍යාග කර තිබෙනවා.

free counters